Related Articles
ඉන්දියාව සමග ඒකාබද්ධව හවුල් කළමනාකරණයක් යටතේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව කැබිනට් මණ්ඩලයටද ඉදිරිපත් කිරීමට සූදානම්වනවා. විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිළ පැවසුවේ පවතින තත්ත්වය සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කර සම්පූර්ණ වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි‘.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකිර්ණයේ ඇති සමස්ථ තෙල් ටැංකි සංඛ්‍යාව 99ක්. එහි එකවර ගබඩා කර හැකි ඉන්ධන ධාරිතාව ටොන් නව ලක්ෂ 99,000කට ආසන්නයි. එය මෙරට මාස දෙකක ඉන්ධන අවශ්‍යතාව සම්පූර්ණය කළ හැකි තරම් ධාරිතාවක්. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකිර්ණයේ එහි ඉහල කොටසේ තෙල් ටැංකි 84ක් පවතිනවා.
පහල කොටසේ ඇති තෙල් ටැංකි සංඛ්‍යාව 15ක්. එම තෙල් ටැංකිවල මෙහෙයුම් සිදු කරන්නේ ඉන්දීය තෙල් සමාගමයි. ඒ, 2003 වසරේ එළැඹි ගිවිසුමකට අනුවයි. එහිදී එම තෙල් ටැංකි අයී ඕ සී සමාගමට වසර 35ක් සඳහා බදු දී ඇත්තේ වසරකට එක් ටැංකියක් සඳහා අමෙරිකානු ඩොලර් දහසක මුදලකටයි.

අමාත්‍ය උදය ගම්මන්පිල ඉකුත්දා ප්‍රකාශ කළේ ඉන්දීය තෙල් සමාගම සතුව පවතින ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි යළි ශ්‍රී ලංකාවට ලබාදීමට ඉන්දීය රජය එකතාව පළකර ඇති බවයි. කෙසේවෙතත් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකිර්ණය සම්බන්ධයෙන් 2003 වසරේ අත්සන් කළ ගිවිසුම තවදුරටත් ක්‍රියාත්මක බව මෙරට පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉන් පසුව ප්‍රකාශ කළා.
ඉහල කොටසේ ඇති තෙල් ටැංකි 84ද දෙරටටම වාසිදායකවන අයුරින් කළමනාකරණය කිරීම පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා පැවැත්වෙන බවයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ.
අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සඳහන් කළේ විකිණිමකින් තොරව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංවර්ධනය කිරිම සිදුවනු ඇති බවයි.
කෙසේවෙතත් ඛණිජ තෙල් වෘත්තීය සමිති පවසන්නේ ඉන්දියාව සමඟ එක්ව හවුල් කළමනාකරණය කිරීමේ ක්‍රියාවලියකට යෑමෙන් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සදාකාලිකව ඉන්දියාවට අයිතිවන බවයි. ජාතික සේවක සංගමයේ, උප සංවිධායක, ආනන්ද පාලිත කියා සිටියේ පවතින ගිවිසුම තුළම රැදී සිටිම පවා රටට වාසියක් බවයි.
එහෙත් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පැවසුවේ අලුත් ක්‍රියාමර්ග හරහා රටට අවාසි දායක නොවන ලෙස ජාත්‍යන්තර හවුල් ව්‍යාපර සමග සම්බන්ධ වී කටයුතු කිරීමට ආණුඩුව සූදානම් බවයි.
කෙසේවෙතත් ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල සඳහන් කළේ, 2038 වසරේ දී ත්‍රිකුණාමලය තෙල් ටැංකි ශ්‍රී ලංකාවට අයිති වීමට අවස්ථාව තිබියදී යළිත් වරක් ඉන්දියාව එහි සංවර්ධන කටයුතුවලට මැදිහත් වීම සැකසහිත බවයි.
උපුටා ගැනීම – නෙත් News